Monday, September 16, 2019

නෙළුම් කුළුන ගැන යමක්


අද දින එනම් 2019.09.16 දින මීට වසර කීපයකට කලින් ඉදිකිරීම් ඇරඹුනු නෙළුම් කුළුන නිල වශයෙන් විවුර්ත වුනා. ඒ ජනාධිපතිතුමා ඇතුළු විශේෂ අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන්. තොරතුරු වලට අනුව මෙහි උස අඩි 1168ක් මෙය දකුණු ආසියාවේ දැනට තිබෙන උසම කුළුන බවත් කියැවෙනවා. කෙසේ නමුත් මේ ගැන සුවිශේෂ යමක් කිව යුතුමයි කියා සිතුනු බැවිනුයි මේ කෙටි ලිපිය බ්ලොග් පිටුවට යොමු කරන්නේ. බොහෝ විට අපේ රට තුල මහා පරිමාණ ඉදිකිරීම් හා විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වී තිබෙන්නේ එක් අතකින් බලන කළ ලොව වෙනත් රටවල් දෙස බලා අපේ හීනමානය නැති කරගැනීමටත් කරන්නන් වාලේ කිරීමටත් මෙන්ම දේශපාලනඥ්ඥයන්ට පුරාජේරු ගැසීමටත්ය. කෙසේ නමුත් නෙළුම් කුළුණ රටට යම් ප්‍රයෝජනයක් ඇති ඉදිකිරීමක් වනු ඇති බව අප කාගේත් විශ්වාසයයි. මෙය  තුලින් සන්නිවේදන කටයුතු වඩා කාර්යක්ෂම වනු ඇති බවත් සන්නිවේදනයේ නිම් වලලු පුළුල් වනු ඇති බවත් අප කාගේත් විශ්වාසයයි. ආරක්ෂක කටයුතු වලදීත් මෙවැනි ඉදිකිරීමකින් විශාල ප්‍රයෝජනයක් ගත හැකි බව නොඅනුමානයි. මෙහි කටයුතු ආරක්ෂක අංශ වල අධීක්ෂණය යටතේ සිදුවීමත් ඉතා යහපත්. ඉතින් අප කාගේත් පැතුම වන්නේ මෙය හුදෙක් සෝබනයට කළ ඉදිකිරීමක් නොවී එහි වටිනාකම මුළු රටටම දැනෙන ලෙස ඉදිරි වැඩකටයුතු කෙරෙනු දැක්මයි.

Tuesday, April 30, 2019

විපතට පත් සියළු දෙනාට සහනය අත් වේවා!


මේ වසරේ අප්‍රේල් මස පාස්කු ඉරිදා අනපේක්ෂිත ලෙස ත්‍රස්ත ප්‍රහාර වලට ලක් වී මිය ගිය සියළු දෙනාට නිවන් සුව ලැබේවා. තුවාල ලැබූවන් ඉක්මනින් සුවපත්  වේවා.විපතට පත් සියළු දෙනාට සහනය අත් වේවා!

Sunday, April 14, 2019

සුබ නව වසරක් වේවා!


උදා වූ සිංහල අළුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසි සියල්ලන්ට සතුට සෞභාග්‍ය පිරි නව වසරක් වෙවා.

Friday, March 22, 2019

පරිසරය සහ මනස


මනස සහ පරිසරය අතර සම්බන්ධය මොකක්ද? අද වෙනදාටත් වඩා මානසික ආතතිය, පීඩනය ගැන කතා කෙරෙනවා. ඇත්තෙන්ම මානසික ආතතියට කෙනෙකු ජීවත් වෙන පරිසරයේ ස්වභාවය බොහෝසෙයින් බලපානවා. අපි හුඟ දෙනෙක් මේ ගැන වැඩි අවධානයක් යොමු නොකළත් ඇත්තෙන්ම එදිනෙදා ජීවිතයේදී පවා පරිසරයත් මනසත් අතර තිබෙන සම්බන්ධතාවයේ විවිධ ප්‍රතිඵල අප කවුරුත් අත් විඳ ඇති. අප ජීවත් වන පරිසරයේ ස්වභාවික ගතිය අඩු වී කෘතීම ගතිය ගොඩක් වැඩි උනොත් ඒ තුලින් අපේ මනසට යම් පීඩනයක් එල්ල වනවා වගේම එය කෙනෙකුගේ මානසික සමබරතාවයටත් බලපෑමක් කරනවා. ඒ වගේම අනෙක් අතට කෙනෙකු යම් චිත්ත පීඩාවකට පත්ව සිටින මොහොතක ඒ තැනැත්තා කොළ පැහැයෙන් යුතු ගහකොළ බහුල ස්වභාවික පරිසරය දැකීමෙන් පුද්ගලයාගේ ඒ පීඩනය පහව ගොස් මනසට යම් සැහැල්ලුවක් ඇති කරනවා. මනසත් පරිසරයත් අතර තිබෙන මේ සම්බන්ධතාවය තේරුම් ගැනීමට අමුතු වෙහෙසක් දැරිය යුතු නෑ. ඕනෑම කෙනෙක් ස්වභාවික පරිසරයත් එහි අලංකාරයත්  අත්විඳීමට යම් කැමැත්තක් දක්වන්නේ නිරායාසයෙන්. සත්වලෝකයේ වෙනත් සතුන්ට ජීවත් වීමට පරිසරයේ ස්වභාවික වාසස්ථාන තිබුණත් මිනිසුන් තම දිවි පැවැත්ම වෙනුවෙන් සුවිශේෂී පරිසරයන් නිර්මාණය කරනවා. මෙලෙස විශේෂයෙන් ගොඩනගන නිර්මාණාත්මක පරිසරයකට තමයි සංස්කෘතික පරිසරයක් කියන්නේ. මනුස්සයන් කොපමණ බුද්ධිමත් වුවත් ඔවුන් විසින් නිර්මාණය කරන සුවිශේෂී පරිසරය සොබාදහමෙනුත් ස්වභාවික පරිසරයෙනුත් බොහෝසෙයින් දුරස් වුනු දැඩි කෘතීමබවකින් සමන්විත එකක් වීම මනුස්සයන්ටම අහිතකරයි. ඇත්තෙන්ම මිනිස් සංහතියේ යහ පැවැත්ම සැලකීමේදී මනුස්සයන් විසින් නිර්මාණාත්මකව ගොඩනගන දෑ සොබාදහමට අනුකූල ලෙස ඊට බොහෝ සංගතව සිදු කිරීම ඉතා වැදගත්.