Thursday, November 15, 2018

කොළඹ නුවර දුම් රිය ගමනක සිත්ගත් තැන්.

කොළඹ සිට නුවරට පොඩිමැණිකේ දුම් රියෙන් රඹුක්කන පසු කොට.










                                                             බලන දුම් රිය ස්ථානයේ



                     පේරාදෙණියේදී සඥ්ඥා දෝශයක් හේතුවෙන් මග නැවතී.


මහනුවර සිට කොළඹට කඩුගන්නාව පසු කරමින්





බදුල්ල බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම් රිය ඉහලකෝට්ටේ දුම් රිය        ස්ථානය වෙත ලඟා වෙමින්

                          

              වංගු සහිත මාර්ගයේ හෙමින් පල්ලම් බහින කෝච්චිය



                     ඉහලකෝට්ටේ දුම් රිය ස්ථානය පසු කරමින්

W3 පංතියේ ඩීසල් හයිඩ්‍රොලික් ඇන්ජිමක් දුම් රියට යොදාගෙන තිබීමත් විශේෂත්වයක් උනා. මේ ඇන්ජින් මෑත කාලයේ දුර ධාවනය වන දුම් රිය වලට එතරම්  යොදා ගැනෙනේ නෑ.

Monday, November 5, 2018

මා දුටු මනමේ

Image result for maname

සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නිර්මාණයක් වන මනමේ නාට්‍ය දෙවරක්ම නැරඹීමට මම වාසනාවන්ත වූයෙමි. ඇත්තෙන්ම එහි අපූර්වත්වයෙන් මම වශී වූයෙමි. කීර්තිශේෂෝපගත මහා විදග්ධයන් ගේ නිර්මාණයට නිසි උවටැන් කරමින් එය පවත්වාගෙන යාන එතුමන්ගේ ආර්යාවගේ පරිපාලනය ද මගේ සිත් ගත්තේය. එතුමිය නාට්‍ය කණ්ඩායමේ විනය ගැන දැඩි සැළකිළිමත් වන්නීය. ඇතැම් නාට්‍ය කණ්ඩායම් මත්පැන් ඉල්ලමින් වෙනත් අවශ්‍යතා ඉහගෙන කන්නට හදමින් සංවිධායකයන්ට ඇනයක් වන අවස්ථා ගැන අසා තිබුනෙන් අප මදක් බියට පත්ව සිටියෙමු. ඇත්තෙන්ම නාට්‍ය පෙන්වන්නේ යම් කිසිවකට ආධාරපිණිසය. එනිසා සංවිධායකයන්ගේ පසුම්බියට බරක් නොවන ලෙස හැසිරීම හොදය.  මනමේ කණ්ඩායම සිය කෞෂල්‍යයෙන් මතුනොව විනයෙන්ද තමන් කිසිවෙකුට නොදෙවෙනි බව මොනවට කියා පෑහ.
අපද මත්පැන් නම් සර්පයා අහලකටවත් වද්ද නොගත්තෙමු.
නාට්‍ය කන්ඩායමේ මිත්‍රශීලීත්වයෙන් ද අප සතුටුවීමු. සභාතොමෝ විසිරගියේ සතුටිනි.

මම මනමේ ගැන අසා තිබුනේ පාසල් කාලයේය. එහි දෙබස් මට තවම මතක තිබීමෙන් එය මට කොතරම් ආකර්ශනීය වීද කියා කීමට හොදම සාක්ෂියකි.


නාට්‍යයක් පෙන්වීමට යමකට ආධාර පිණිසම වන ව්‍යාපෘතියක කොටසක් විය යුත්තේ ඇයි. ආධාර පිණිස ව්‍යාපෘතියක ටිකට් ගන්නේ නාට්‍‍ය බැලීමට ඇති අවශ්‍යතාවය නිසා නොවේ. වචනය කඩන්නට බැරිකමටය. අපටනම් එන්න වෙන්නෙ නෑ ඒත් ඔයාට බෑ කියන්න බෑනෙ කියා ටිකට් ගනී. ඇත්තෙන්ම අප කැන්වසින් කර ටිකට් විකිනූ අයගෙන් සීයට අනූනමයක්ම නාට්‍ය බැලීමට ආවේ නැත. එහෙත් ඇත්තම නාට්‍ය රසිකයන් එදින දොරටුවෙන් ටිකට් ලබා පැමිණියහ. ඔවුන් ඇත්තෙන්ම පිය දසුනක්ම විය. එහෙත් මේ ප්‍රමාණය වියදම කවර් කරන්න ප්‍රමාණවත් නැත .souvenir එකක්ද කළ යුතුය. ටිකට් පොත් සාමාජිකයන්ට දී ටිකට් මිනිසුන්ගේ ඇගේ ගසන්නට සිදුවේ. ඇත්තෙන්ම නාට්‍ය කලාව මෙතනට වැටිය යුතු නැත. විශේෂයෙන්ම සම්භාව්‍ය නාට්‍ය.
නාට්‍ය හා සිනමාව යනු කලා මාධ්‍ය දෙකකි. කවදා හෝ සිනමාවත් මෙතනට වැටේවිද.
පොරකකා ටිකට් ගන්න නාට්‍ය රසික ප්‍රජාවක් හදන්න බැරිවේද?

මේ සිතිවිලිවල සැරිසරමින් සිටින මට මනමේ නාට්‍යයේ අපූරු තැනක් හසුවිය. එනම් රාජගුරු කුමරා හා කුමරිය විවාහ කර දෙන්නේ ලංකාවේ දෙවිවරුන්ගේ ආශිර්වාද පතමිනි. එතන යම් නොගැලපීමක් ඇත.
තවත් තැනක වැද්දන් එනවිට කුමරිය බියවී එසැනින්ම සටනට යන ලෙස කුමරු පොළඹවයි .එයද පරස්පර විරෝධීය. මනමේ නාට්‍යයේ ස්ත්‍රිය පැසිව් චරිතයකි. සියුමැලි ඇය ට රැකවරනය අවශ්‍යය. මනමේ නාට්‍යයේ මුල් කතාව තුල ස්ත්‍රියගේ චපල බව ඉස්මතුකිරීමේ වුවමනාව තිබිණි. සරච්චන්ද්‍රයෝ එහි දළ බව අඩුකර මානුෂික මුහුණුවරක් දුනි.මා දුටු කතාවේ නම් ඇත්තෙන්ම කුමරිය වැද්දාට කඩුව දුන්නේ නැත. ඇය කීවේ යටත් වූ සතුරා නොමරන ලෙසයි. මා නම් මනමේ කුමරියගෙන් දුටුවේ උතුම් මිනිස් ගුනයකි. කාරුණික බවකි චපලකමක් නොවේ.

වරද සිදුවුනේ කොතනද? මනමේ කුමරියට කුමරුගේ මරණින් පසු ආරක්ෂාව  අවශ්‍ය විය. ඇය වැදිරජු හා සරන යාම ස්වාභාවිකය. අසරණ කුමරිය කැලය තුල වෙන කුමක් කරන්නද. සියල්ල සතුටින් අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදී කුමරියගේ කට වැරදුනි. ඇය ඇත්තෙන්ම වැදිරජුගෙන් ලකුනු දමා ගැනීමට කී අනවශ්‍ය කතාවක් නිසා සියල්ල අවුල් විය. හරි දේ පවා වැරදි වෙලාවක නොකිව යුතුය. අවස්ථාවට අනුව කළ යුතු හොදම විකල්පය මනමේ කුමරිය තෝරාගත්නමුත් කට වැරදීම නිසා අවුල් විය.එහෙත් වෙනත් කතාවල කුමරිය කොපුව කුමරාටත් කඩුව වැද්දාටත් දෙනබව කියනු ලැබේ. එහෙත් මා දුටු නාට්‍යයේ එවැන්නක් නොවීය. මගේ අදහස මා දුටු මනමේ කතවට පමණක් අදාල වේ. 


මෙම කතාවේ කලු සුදු චරිත නැත. වීරයන් හා දුෂ්ටයන් හදුනාගන්නට අමාරු කතාවකි. වීරයා විටෙක මෝඩයෙකි යටත් වූ සතුරා මරන යුධ අපරාධකරුවෙකි. දුෂ්ටයා ඕනෑම ගැහැනියක් හා යහන් ගතවෙන අයෙක් නොවේ. මෙවැනි අඟනක් මවැනියන් හට කවර සරනද කියා අසයි. ඔහුගෙන් යුවලට හිංසාවක් සිදුනොවේ. මනමේ කුමරාගේ මරනය ගැන කුමරිය චෝදනා කරන විට තම නිදහසට කරුනු දක්වන වැදි රජු ගොඩ නගන තරික බලන්න. ඔහු ම්ලේච්ඡයෙකු නොවේ. වනය ඔහුගේ රාජ්‍යයයි. එයට ඇතුලුවන ස්ත්‍රීන් ඔහුගේ දේපොළකි. ඒ වනයේ නීතියයි. වනය ඔහුගේ දේපොළකි. ඔහු අත වරද නැත.


සමාජය ලෝකය ගැන කිසිවක් නොදැන එක්ටම් ගෙයක  වැනි පරිසරයක වැඩුන කුමරිය අතින් වරදක් වුවද එය දෙස අප බැලිය යුත්තේ මානුෂිකවය. පෙම් යුවල මැද්දට පැන වැද්දා කළේ අනවශ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවක් වුවද කතාවේ අවසානය සුඛාන්තයක් වීනම් නොහොත් වැද්දා හා කුමරිය විවාහ වී ගීයක් ගයමින් නාට්‍ය අවසන් වී නම් මා වඩා කැමැත්තෙ

Monday, October 15, 2018

ගම්පහට මනමේ


ගම්පහට මනමේ, නොවැම්බර් 04. විමසන්න 070-5862553 / 0772526595.
උසස්පෙළ සිංහල පාසල් විෂය නිර්දේශයට ඇතුලත්.
ගම්පහ අවට ඔබ සියළු දෙනාට කදිම අවස්ථාවක්.

Wednesday, October 3, 2018

ගුප්ත ලෝකය සොයා


`ගුප්ත විද්‍යාවන් කෙරෙහි මා තුල තිබුනේ කිසිදා නොසන්සිදෙනා  ආශාවකි කුතුහලයකි. උසස් පෙල ට පෙනී සිටීමෙන් පසු මා නිදහසේ මේවා ගැන සොයන්නට වීමි. එහෙත් සාර්ථක ප්‍රතිඵල නොලැබීම නිසා මා මේවා ගැන සැක කිරීමට පටන් ගත් අතර භෞතිකවාදී ලේඛන කියවීමට හුරුවීමි. එහෙත් කුතුහලය යටපත්වූවා මිස නැතිවුනේ නැත.

හැම දේම වුනේ අහම්බෙනි. මා  භෞතික විද්‍යා විශයට උපකාරක පන්තිගියේ දුරබැහැර නගරයකටය.එදින ගුරුවරයා ප්‍රමාද විය.සිසුන් එකිනෙකා පන්තියෙන් එලියට බැස රන්චු රංහු කතාබහ කරමින් සිටියහ.එක් මිතුරෙකුගෙන්  පන්ති කට් කර එකල අපේ බාෂාවෙන් කීවොත් වල බහින්න යෝජනාවක් ආවේය. හැමෝම ඊට කැමති වූහ.

අප පස් දෙනා යළිත් නගරයේ බස් නැවතුම වෙත ආහ. බස් පෝලිමේ නැවතී සිටින විට කාන්තාවක් පැමිණ සාත්තර කියන තැනට යන පාර ඇසුවේ මිවිටය. අප එය දැන සිටියේ නැත. අපට එය විනෝදයක්ද විය. සමහරු මේවා විශ්වාස නොකළ හෙයිනි. අපෙන් පිළිතුරක් නොලත් තැන අසල සිටි තවත් කෙනෙකුගෙන් පාර ඇසූ විට එම පුද්ගලයා පැමින මහත් උනන්දුවෙන් වීස්තර කියන්නට.

යන්ද බන් අපිත් සාත්තරයක් අහන්න "එකෙක් මහ හඩින් ඇසුවේ සිනාසෙමිනි.
එම යෝජනාවෙන් මාද කිතිකැවුනි.අපද සාත්තරකියන තැනට ගියා නොවේ යැවුනි.

අපද සාත්තර ඇසූ අතර කී සමහර දේවල් විස්මය ජනක විය. අප ආපසු එන විට කතා කලේ මේ ගැනය. පසු දිනක තනිවම මෙහි යාමට මා සිතා ගත්තෙමි
දෙවෙනිවර තනිවම සාත්තර කියන තැනට ගිය පසුවය මෙතැන් සිට සුවාමි යැයි හදුන්වන පුද්ගලයා මුන ගැසුනේ. අපගේ වාරය එනතුරු කතාබස් කරමින් සිටි අප හිතවත් වීමු. ඔහු නිතරම ඉන්දියාවටයන බවත් එහි ආශ්‍රමයක සිටින ඍශිවරුන් ගැනත් ඔහු කීවේය.

කාලය ගෙවී ගියේය. අප හොද මිතුරන් වීමු. මුලදී ඔහු සමග මෙතරම් දුරක යාමට ගෙදරින් අදිමදි කළද පසුව එය ද ලැබිනි. සුවාමිගේ ආශ්‍රමයට අප කිහිපවරක්ම ගියෙමු. එය වනමැද පිහිටා තිබූ අපූරු නවාතැනකි. සුවාමිට ගෝලයන් කීපදෙනෙක්ද විය. ඔවුහු වනමැද භාවනාව ප්‍රගුන කරති.මාද කිහිප වරක්ම මෙහි නැවතී භවනා කළෙමි. මට අධිමානසික බලය ගැන අත්දැකීම් මුල්වරට ලැබුනේ එහිදීය.

අත්භූත අත්දැකීම් ඊලඟ ලිපියෙන්

Sunday, September 30, 2018

මුහුණු පොත හැක් වීම...!

මාර්ක් සකර්බර්ග් ගේ මුහුණු පොත හැක්වෙලා මිලියන 50කට ආසන්න ගිනුම් වල දත්ත අවධානමකට ලක් වුන පුවතක් අසන්න ලැබුණේ ගිය සිකුරාදා. මේ සමගම මුහුණු පොත අන්තර්ජාලයේ සුරක්ෂිතද යන්න ගැටළුවක් උනා පමණක් නොවෙයි හැකර්ලා ගැන වැඩි අවධානයක්ද ලෝකය පුරා ඇති උනා. මුහුණු පොත වගේ පරිඝණක ජාල ආරක්ෂිත විධි විධාන දැඩි සමාජ ජාල වෙබ් අඩවියක් හැක් වෙන්න ඉඩ තියෙනවද? ඔවු ඒක වෙන්න පුලුවන්. මොකද පරිඝණක දෘඩකාංග මෘදුකාංග ඇතුළු ජාලකරන උපකරණ සියල්ල මිනිසුන්ගේම නිර්මාණ. මේ ඕනම දේක දුර්වල පැත්තක් තියෙන්න පුලුවන්. ඇත්තටම බැලුවොත් පරිඝණක හා ජාලකරණ උපකරණ වලත් මෘදුකාංගවලත් ආරක්ෂිත විධි විධාන වල දුර්වල තැන් තමයි හැකර්ලා ඉලක්ක කරන්නේ. කොහොම උනත් මේ සිද්ධියෙන් පෙනෙනේ මුහුණු පොතටත් වෙලා තියෙන්නේ මේ වැඩේමයි කියන එක.
            මුහුණු පොත හැක් කරපු හැකර්ලාට ගිනුම් හිමියන්ගේ ගිනුම් වලට පිවිසෙන්න අවශ්‍ය මුරපද " Password "ඇතුළු දත්ත ලබාගන්න පුළුවන් උනේ කොහොමද? මේක තවත් ගැටළුවක්. මුහුණු පොතට පිවිසෙන ඇතමුන් තමාගේ ගිනුමෙන් ස්ථිර ලෙස ඉවත් නොවී මුරපදය " Password " තමන් අන්තර්ජාලයට පිවිසෙන්නට භාවිතා කරන පරිඝණකයේ වෙබ් බ්‍රවුසරය තුලම මතක තබා ගැනීමට "Save  " ස්ලස්වනවා. තමන්ගේ තනි පාවිච්චියට ඇති පරිඝණක ජංගම දුරකථන ආදියේ මෙලෙස මුරපද මතකයේ රඳවා තැබීමට බොහෝ දෙනා පෙළඹෙනවා. ගිනුම් හිමියන් එලෙස මතකයට රඳවන මුරපද "Password  " මුහුණු පොතේ සර්වර් " Server  " වලින් නැවත වරක් හඳුනා ගන්නේ ඇක්සස් ටෝකන් " Access Token " කියන ඩිජිටල් කේත සටහන් මගින්. මේ ඇක්සස් ටෝකන් " Access Token " වලින් ගිනුම් හිමියන්ගේ මුරපද " Password " හොයාගන්නත් පුළුවන් වෙනවා. දැනට තිබෙන  තොරතුරු අනුවනම් හැකර්ලා අතට පත්වෙලා තියෙන්නේ මේ ඇක්සස් ටෝකන් " Access Token " ඒ මගින් තමයි ඔවුන් ගිනුම් හිමියනේ මුරපද "Password " සොරගෙන තිබෙන්නේ. මුහුණු පොතට මෑතක එල්ල වූ දරුණුම හැකර් ප්‍රහාරයත් මෙය බවයි කියවෙන්නේ. දැනට සුරක්ෂිතම අන්තර්ජාල විධි විධාන භාවිතා වෙන්නේ දකුණු කොරියාවේ කියලා වාර්තා වෙනවා. නමුත් කොහේ උනත් පරිඝණක, අන්තර්ජාල ආරක්ෂිත විධි විධාන හා ඒ පසුපස ඇති තාක්ෂණය 100% අංග සම්පූර්ණයි කියා සිතන්නට බෑ. මුහුණු පොතේ ප්‍රධාන සර්වර් " Server " තියෙන්නේ දකුණු කොරියාවේ නෙවෙයි. අපට මතක තියාගන්න වෙන එකම දේ මනුස්සයන් නිර්මාණය කරන දේවල් වල  දුර්වල පැති තියෙනව කියන එක.


විස්තර
https://www.businessinsider.com/facebook-security-attack-affecting-50-million-users-2018-9?utm_content=buffer6464e&utm_medium=social&utm_source=facebook.com&utm_campaign=buffer-ti 

Sunday, September 9, 2018

කාටද මතක ....?


මේ කතාව මතකද? පින්තූරේ ඉන්න නළුවනම් අපි කවුරුත් අඳුරන කෙනෙක්. ඒ වික්‍රම සෙනවිරත්න. ඔහු රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට වගේම ආකර්ශනයට පත් උනේ කිරිහාමිගේ චරිතයෙන්. වර්ෂ 1985ට විතර කලින් ඉපදුන අයටනම් ජාතික රූපවාහිනියේ විකාශනය වී පසු කලක නැවතත් විකාශනය වූ හත්පණ ළමා ටෙලි නාට්‍ය හොඳින් මතක ඇතිවාට කිසිම සැකයක් නෑ. ඒ කාලේ නම් ළමයින් අතරේ විතරක් නෙවෙයි වැඩිහිටියන් අතරෙත් මේ කතාව ජ්නප්‍රියයි. කතාවේ ප්‍රධාන චරිතය වන කිරිහාමිට පණ දෙන වික්‍රම සෙනවිරත්න අති විශිෂ්ඨ වගේම ඉතාම තාත්වික රංගනයක නියැලෙනවා. කිරිහාමිට වරෙක පණ යන ආකාරයත් නැවත පණ එන ආකාරයත් ප්‍රකඨ ලේකක කුමාරතුන්ග මුනිදාස ශූරීන්ගේ හත්පණ කතා පොතේ එන චරිතය මැනවින් ගෙන හැර දක්වයි. ඇත්තෙන්ම ඒ කාලේ හත්පණ වගේම "ලොක්කෙ මාමා" වගේ ළමයින්ට රස විඳින්නට හැකි අපේම සමාජ පරිසරයට බොහෝ සමීප ළමා කතා රූපවානියේ විකාශනය උනා. ඒත් කනගාටුදායක දේ අද මේ වගේ ළමයින්ට රස විඳින්න පුළුවන් ළමා කතා රූපවාහිණී නාලිකා වල විකාශනය නොවෙන එක. ළමා වැඩසටහන් තිබුණත් ඒ බොහොමයක් කලකට පෙර නිර්මාණය උන හත්පණ ලොක්කෙ මාමා වගේ ඉහල මට්ටමේ නිර්මාණ නොවෙයි. අද අපේ රටේ රූපවාහිණී මාධ්‍ය ඉන්දියානු ටෙලිනාට්‍ය වලිනුත් ආක්‍රමණය කරලා. තත්වය කණගාටුදායක උනත් එකළ අපේ රටේ ප්‍රකඨ ලේඛකයෙකුගේ කෘතියකට අනුව රූපවාහිණියට නිර්මාණය වෙච්ච මේ වගේ කතාවක් ගැන යමක් ලිවීමත් එක්තරා අස්වැසිල්ලක්.

Tuesday, August 28, 2018

තොටුපොල කන්ද සහ රාවණ යුගය

තොටුපොල කන්ද පිහිටල තියෙන්නේ හෝටන් තැන්න ප්‍රදේශයේ තරමක් පට්ටිපොල දෙසට වන්නටයි. මේ කන්ද ශ්‍රී ලංකාවේ තුන්වැනි උසම කන්ද. මුහුදු මට්ටමේ සිට උස අඩි 7739ක්. කන්දට තොටුපොල කියන නම ලැබුනේ කොහොමද? මේ කතාව රාවණ ඉතිහාසයත් එක්ක සම්බන්ධයි. පැරණි ජනප්‍රවාදයේ සඳහන් වෙන විදිහටනම් රාවණ රජතුමාගේ දඬුමොණරය ගොඩබෑ තොටුපොල මේ ආසන්නයේ ඇති නිසා කන්දට තොටුපොල කන්ද කියන නම ලැබිල තියෙනවා.
                   මේ ජනප්‍රවාද කිසිවක් අපට බැහැර කරන්නට නොහැකියි. දඬුමොණරය ගැන තොරතුරු රාවණ රජු වටා ඇති බොහොමයක් ජනප්‍රවාද වල සඳහන් වෙනවා. දඬුමොණරය ගුවනින් පියාසර කිරීමට රාවණ රජු විසින් භාවිත කළ යානාවයි. දඬුමොණරය සුලඟ හා වායු පීඩන වෙනස්කම් ආදාරයෙන් පියාසර කළ හැකි යානාවක් බව කියවෙනවා. වර්තමාණයේ ඇති නවීන ගුවන් යානා වලත් පියාසර කිරීමේ හා ඉහලට එසවීමේ තාක්ෂණය පදනම් වෙන්නේ වායුපීඩන වෙනසක් නිර්මාණය කිරීම මතයි. දඬුමොණරයේ තාක්ෂණය ගැනත් විවිධ කතන්දර තිබෙනවා. දඬුමොණරය සුළඟේ ආදාරයෙන් පියාසර කිරීම හා ඒ ආශ්‍රිත තොරතුරු අනුව බලනකොට නම් තොටුපොල කන්ද හා ඒ වටා බැඳුනු පුරාවුර්තයන් නිවැරදියි කියා සිතන්නට තිබෙන සාක්ෂි පැහැදිලියි.
                  
ඒ තොටුපොල කන්දත් හෝටන්තැන්නත් ආශ්‍රිත පරිසරය හා භූ විශමතාවය සලකන විටදීයි. හෝටන් තැන්න ප්‍රදේශය පතන බිම්කඩවල් සහිත තරමක් තැනිතලා ප්‍රදේශයක්. ඒ වගේම හෝටන්තැන්නේ දකුණු පැත්තේ ඇති ලෝකාන්තය ලෙස ප්‍රසිද්ධ ස්ථානය ඇතුළු ඉතා සීඝ්‍ර බෑවුම් සහිත ස්ථාන වලින් සුලඟේ ආධාරයෙන් පියාසර කළ හැකි යානාවක් ගුවන්ගත කිරීමට හැකියාවක් තිබෙනවා. තොටුපොල කන්ද අවට හෝටන්තැන්න ප්‍රදේශයේ තැනිතලා භූමි ප්‍රදේශයක් වෙත එවැනි යානයක් ගොඩබෑමද පහසු කටයුත්තක්. මේ අනුව බලද්දී රාවණ රජු දඬුමොණරය ගුවන්ගත කිරීමටත් ආපසු ගොඩබෑමටත් මේ ප්‍රදේශය භාවිතා කළා කියා කියන්නට ඉතාම කිට්ටු සාධක බොහොමයක් එම පරිසරයේම තිබෙනවා. එසේනම් අප මේ පැරණි ජනප්‍රවාද නොසලකා හැරිය යුතුද? ඇත්තෙන්ම කළයුතු දේ නම් මේ ජනප්‍රවාද ඔස්සේ තව තවත් මේ ඉතිහාසය වෙත එබී බැලීමයි. එසේ කරන්නේනම් අපට අපේ පැරණි ඉතිහාස තොරතුරු පමණක් නොව රාවණ යුගයේ තාක්ෂණික තොරතුරුත් අනාවරණය කරගැනීමට නිසැක ඉඩකඩක් ලැබෙනු ඇති.

Tuesday, August 21, 2018

අවකාශයේ ගලායන්නේ කාලයද? සිදුවීම් මාලාවක්ද?



අප එදිනෙදා ජීවිතයේදී කාලය ගැන කොතෙකුත් කතා වෙනවා. කාලය කා දැමීම කාලයෙන් ප්‍රයෝජන ගැනීම ආදී දේවල් කොතෙකුත් අප අසා ඇති. කාලය නමින් රාශියක් ත්‍රිමාණයේ එක් මූලික මාණයක් ලෙස ගැනෙන්නේ ඇයි. කාලය යන්නෙන් තේරුම් ගන්නේ කවරක්ද? අප එදිනෙදා කරන කියන දේ මනසින් පරික්ෂා කර බැලුවොත් තේරෙයි යම්කිසි දෙයක් සම්බන්ධයෙන් සිදුවන සිදුවීම් මාලාවක් එකින් එක එකක් පසුවට එකක් සිදුවීම තේරුම් ගැනීමට කාලය නමින් රාශියක් යොදා ගන්නා බව. යම් කිසිවක් සම්බන්ධයෙන් අතීතය වර්තමාණය සහ අනාගතය සැලකීමේදී එකකට අනුරූපව තවත් එකක් ලෙස අතීතයට අනුව වර්තමාණයත් වර්තමාණයට අනුව අනාගතයත් තීන්දු වන බව පෙනී යයි. ඕනෑම දෙයක ඇතිවීමක් හා නැති වීමක් තිබෙන බැවින් කාලයට අනුරූපව සිදුවන්නේ ඇති වීමේ සිට නැති වීම දක්වා වන යම් සිදුවීම මාලාවකි. මෙලෙස සිදු වන සිද්ධි මාලාව තේරුම් ගන්නේ අප කාලය ඇසුරෙනි. එනම් කාලය නමින් දෙයක් නැති වුවත් යම් සිද්ධි මාලාවක් තේරුම් ගැනීමට කාලය නමින් රාශියක් යොදගැනීමයි. ඉන්ද්‍රිය ගෝචර ලෝකයෙන් ඔබ්බට මනස මෙහෙයවිය හැකි ධ්‍යාන ලාභීන්ට මෙවැනි යම් සිදුවීම් මාලාවක අතීතය වර්තමාණය හා අනාගතය යන අවස්ථා තුනම දැකීමේ හැකියාවක් තිබෙනවා විය නොහැකිද? අපටනම් යම් කිසිවක දැකිය හැක්කේ වර්තමාණය පමණි.



Sunday, August 19, 2018

හෙළ වෙදකම හා පැරණි සමාජය

බටහිර වෛද්‍ය විද්‍යාව අන් රටවල මෙන්ම අපේ රටේත් ප්‍රමුඛ වෛද්‍ය ක්‍රමය බවට පත් වී තිබුනද අපේ රටට ආවේනික සිංහල වෙදකම කිසිවිටකත් නොසලකා හැරිය නොහැකියි. බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා සාර්ථක ප්‍රතිඵල යම් යම් ලෙඩ රෝග සම්බන්ධයෙන් සිංහල වෙදකමෙන් අත් කරගන්නට පුළුවන් බව කාටත් තේරුම් ගත හැකි සත්‍යක්. කැඩුම් බිඳුම් හිරි වැටීම් ස්නායු රෝගාබාධ වලට අදටත් බොහෝ දෙනා බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා විශ්වාසයක් තබන්නේ සිංහල වෙදකම ගැනයි. සිංහල වෙදකම ආයුර්වේදය ලෙසත් ප්‍රසිද්ධයි. මෙහි අර්ථය වන්නේ ආයු වර්ධන වේදය යන්න. වේදය යනු යම් ශාස්ත්‍රයකට යෙදෙන හැඳින්වීමකි.
                                    ලිපියෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ හෙළ වෙදකමේ මූලාශ්‍ර හෝ දැනුම ගැන නොවේ. මෙයින් අප උදක් බලාපොරොත්තු වන්නේ සිංහල වෙදකම ආශ්‍රිත දැනුම සිංහල සමාජය පුරා එක් එක් මට්ටම් වලින් ඇතිර පැතිර තිබෙන ආකාරයත්, ජනයා හෙළ වෙදකම ආශ්‍රිත දැනුම පරිහරනය කරන ආකාරයත් ගැන කරුණු කාරනා කිහිපයක් ගෙන හැර පෑමයි. බටහිර වෛද්‍ය විද්‍යාවේනම් යම් ලෙඩකට ප්‍රතිකර්ම කෙරෙන්නේත් ලෙඩේ වෙනමම සැලකිල්ලට ගෙන එහි මූලාශ්‍රයන් ගැන කරුනු සොයමින්. එහෙත් සිංහල වෙදකමේ ලෙඩාගේ සර්වාංගයම සැලකිල්ලට ගෙන ලෙඩාට ප්‍රතිකර්ම කෙරෙන්නේ අසනීපයේ ශාරීරික හා මානසික පදනම ගැන විශ්ලේශනයක් කෙරෙමින්. බටහිර වෛද්‍ය විද්‍යාවේදී ශරීරයේ යම් තැනක හෝ මුළු සිරුරෙහිම ඇතිවන අසනීප තත්වයකට ඖෂධ ලබා දීමේදී ජීව රසායනික ක්‍රියාකාරිත්වයන් පදනමට ගෙන ඖෂධ ලෙස යම් යම් රසායනිකයන් 100% ඒ සංඝඨක ලෙසින් ලබා දීම සිදු කෙරේ. එහෙත් ආයුර්වේදයෙහි වැඩි වශයෙන් සිදු වන්නේ ශාඛ කොටස් හා වෙනත් ද්‍රව්‍ය රැසක් එකට එක් කර ඖෂධීය සංඝඨක එකතුවක් මගින් සර්වාංගයම සුවපත් කිරීමයි.
                                  බටහිර වෛද්‍ය ක්‍රම වේදයන් හා ඊට සමගාමී සමාජ තත්වයන් දෙස බලද්දී අපට දකින්නට ලැබෙන්නේ වෛද්‍ය විද්‍යාවේ දැනුම සාමාන්‍ය සමාජය තුල පැතිරී ඇත්තේ අල්ප වශයෙන් යන්නයි. වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොමැතිව සාමාන්‍ය පුද්ගලයෙකුට යම් අසනීපයකදී කර හැක්කේ බොහෝ දුරට යම් වේදනා නාශකයක් භාවිතයට ගැනීම පමණකි. එහෙත් සිංහල වෙදකම හා ඒ ආශ්‍රිත දැනුම සැලකිල්ලට ගත් කල සමාජයේ තරමක් වැඩි වශයෙන් වෙදකම ආශ්‍රිත දැනුම පැතිරී පවතින බවක් පෙනේ. පොඩි උදාහරනයක් ලෙස සිරුරේ උෂ්ණ හා සිසිල් ගති සමබරව තබාගැනීමට අපේ සමාජයේ පුද්ගලයන්ට තිබෙන සාමාන්‍ය දැනීම සැලකිල්ලට ගත හැක. උෂ්ණ කෑම සීතල කෑම ගැන ඇති දැනුම හා ආහාර රටාවෙන් උෂ්ණ හා සිසිල් ගතිය සිරුරේ සමබරව තබාගැනීමට අපේ පැරැණ්නන් මෙන්ම අද සමාජයේ බොහෝ දෙනාද දනිති. ගෘහණියන් ඉවුම් පිහුම් කටයුතු වලදී කරපිංචා සුදුලූණු ගම්මිරිස් ආදිය මෙන්ම වෙනත් කුළුබඩු යොදා ගනු ලබන්නේ ආහාර රසගැන්වීමට පමණක්ම නොව යම් ඖෂධීය ගුණයක්ද ආහාරයට එක් කිරීමටයි. හේන් වගාව, ගොවිතැන් කරන අය සර්ප විෂට කරන ප්‍රතිකර්ම ගැන සාමාන්‍ය දැනීමක් ඇති අය වූ බවක් පෙනෙන්නට තිබේ. එමෙන්ම කම්මල් කරුවන් පිලිස්සුම් තුවාල වලට කරන ප්‍රතිකාර ගැන දැනගැනීම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. මවුවරුන් දරුවෙකුට උණක් හෙම්බිරිස්සාවක් හැදුනු විට කොත්තමල්ලි ටිකක් හෝ තම්බා දීමට දැනගෙන සිටිති. ඒ දැනුම කෙනෙක් දෙදෙනෙක් අතර නොව මුළු සමාජයම පුරාවට පැතිර ඇත. තෙහෙට්ටුව කම්මැලි ගතිය ආහාර අරුචිය ආදියට සුදුසු දසමූලාරිෂ්ඨ ගැන ජනයා අතර සාමාන්‍ය දැනුමක්  තිබේ. වෙද මහතෙකුගේ උපදෙස් ලබා නොගෙන වුවත් යම් යම් අසනීප තත්වයන්ට කළ හැකි සුළු ප්‍රතිකර්ම ගැන දැනුමක් ජන සමාජය පුරාවට ඇත. මේවා හැඳින්වෙන්නේ බොහෝ විට අත් බෙහෙතක් කිරීම ලෙසයි. අද පරම්පරාව ලබා සිටින දැනුම අනුව බොහෝ දෙනා හුරු වී සිටින්නේ අපට ආවේනික දැනුමෙහි අඩුපාඩු දකින්නටත් ඇතැම් විට දැනුම හෑල්ලු කිරීමටත් පමණකි. හෙළ වෙදකම් ආශ්‍රිත දැනුම ගැන කියන්නට ඇත්තේත් ඒ ටිකමය. ඒ එසේ වුවත් දැන්නම් හෙළ වෙදකම ඇතුළුව අනෙකුත් සියළු දේ සම්බන්ධයෙන් අපේ රටට ආවේනික දැනුමෙහි වැදගත්කම් හා විශිෂ්ඨතා ගැන විචාරවත් ලෙස සොයා බැලීමක් කිරීමට කාලය උදා වී තිබේ.

Thursday, August 9, 2018

ජ්‍යොතිෂ හාස්කම්


ජ්‍යොතිෂය ගැන පර්යේශනකිරීමට මා පෙළඹුනේ ම වෙත සේවා ලබාගැනීමට ආ අය සදහා සම්ප්‍රදායික පරාශරක්‍රමයෙන් කී අනාවැකි සත්‍ය් නොවීම නිසාය. ඒ නිසා ක්‍රිශ්නමූර්ති ක්‍රමය ශ්‍රීපති ක්‍රමය මතුනොව මගේම අත්හදාබැලීම් තුලින්ද දැනුම ලබාගැනීමට උත්සාහ කළෙමි. මෙහිදී බොහෝ ගිහිපැවිදි පඩිවරු තම ගුරු මුෂ්ටි ප්‍රදානය කරමින් මට බොහෝ අනුග්‍රහ කළහ.

මෙම ශාස්ත්‍රය පොතින් පතින් පමණක් ඉගෙනගතහැක්කක් නොවේ.පරිවාර විෂයන් ලෙස භූත විද්‍යාව හා යෝග භාවනාද හැඳෑරිය යුතුවේ. නො එසේනම් නිවැරදි අනාවැකි කීම උගහටය. මෙම විෂය විටෙක ප්‍රදීපාගාරයක් මෙනි.අනතුරු අගවන්නකි තවත් විටෙක මන් පෙන්වන්නකි. කෙසේ වෙතත් විශය ප්‍රවීණයකු විය යුතු සේම හොද සවන් දෙන්නෙකුද විය යුතුය.

මා හමුවට ආ එක් සේවා දායකයෙකු තමන්ට කිසිම දියුණුවක් නැතැයි මට පැමිණිලි කළේය. මා ඔහුගේ කේන්දරය පරීක්ෂා කරන විට පෙනී ගියේ මෙය කලින් පරීක්ෂා කළ ජ්‍යොතිර්වේදීන් සම්ප්‍රදායික ක්‍රමය අනුගමනය කිරීමෙන් සියල්ල වරද්දා ගෙන ඇති බවය.ඒ මහ දශා හා අතුරු දශා ගනනය කිරීමේදීය. ශනි මහ දශාව ආරම්භ වෙන කාලය සම්ප්‍රදායික නොවන ලෙස ගනනය කර පෙන්වූ විට කේන්දර හිමියා සතුටට පත්විය. සම්ප්‍රදායික ක්‍රමයට වඩා අවුරුදු 5 කින් ශනි මාහ් දශාව ආරම්භ වී තිබිනි.

තවත් අවස්ථාවක කාර්යාලයක වැඩකරන කාන්තාවකට ඔබ අසුවල් මාසය වාන් විට ඉන්න තැන වෙනස් වීමට සිදුවෙනවා එසේ නොවීනම් මම වේලාවන් බැලීම නවත්වමි කියා නොබියවම කීවෙමි. එය හරියටම හරියාමෙන් පසු තකහනියක්ම මා හමුවීමට ඇවිත් ස්තුති කළාය.

අනෙක් සිදුවීම මා එක්තරා පවුලක කේන්දර බැලීමේදී එම පවුලේ පියාගේ කේන්දරයේ 2013 වසරේ තිබූ තදබල අපලයක් දැක මෙයින් බේරුනේ කෙසේදැයි ඇසීමි. එම මාසයේදී ඔහු මියගිය බව එම පවුලේ අම්මා කීවාය. මම එයින් දිරි ගෙන ග්‍රහයන් අතර දුර තත්කාලය හා සැසදීම ක්‍රිශ්නමූර්ති ක්‍රමයේ උප අධිපතියා ට විශේෂ අවධානයක් දීම හා තවත් ප්‍රසිද්ධියේ කිව නොහැකි සමහර කරුණු සමහරක් තුලින් ජනතාවට හොද සේවයක් සැපයිය හැකි බව අවබෝධකරගත්තෙමි.

ඉන්පසු බොහෝ දෙනෙකුට ව්‍යාපාර සාර්ථක කරගැනීමට උපදෙස් දෙමින් මෙය විනෝදාංශයක් ලෙස කළෙමි. මා සුවිශේෂ පුද්ගලයන් මුනගැසීමට ගිය චාරිකා ගැන රසවත් කතා ඊලඟට

Sunday, August 5, 2018

මාතලේ හුණු සාමාන්‍ය හුණු ගල් වලින් වෙනස් වෙන්නේ ඇයි.


සාමාන්‍ය හුනුගල් වල අඩංගු රසායනික සංඝටකය වෙන්නේ කැල්සියම් කාබනේට් ( Caco3  ) ලංකාවේ යාපනය ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශ වල බහුලව තිබෙන හුනුගල් කැල්සියම් කාබනේට් වලින් සමන්විතයි. දිවයිනේ උතුරු ප්‍රදේශය ආශ්‍රිතව අවසාදිත හුනුගල් බහුලව දක්නට ලැබේන්වා. හුනුගල් මීට අමතරව රටේ වෙනත් පරදේශ වලද දැකගත හැකියි. උතුරුදිග ප්‍රදේශ හැරුනු විට මාතලේ ප්‍රදේශයත් හුනු කර්මාන්තයට යම් ප්‍රසිද්ධියක් උසුලනවා. නමුත් මාතලේ ප්‍රදේශයෙන් හමුවන හුනුගල් බොහොමයක් දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලින් හමුවන හුනුගල් වල්ට වඩා වෙනස්. ඒවා බොහොමයක් ඩොලමයිට් යන ඛණිජ ද්‍රව්‍ය වේ. ඩොලමයිට් වල කැල්සියම් කාබනේට් වලට අමතරව මැග්නීසියම් කාබනේට් ( Mgco3 ) අඩංගුයි. ඩොලමයිට් වල කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් දල වශයෙන්  50% ට 50% අනුපාතයකින් මිශ්‍රයි. මාතලේ ප්‍රදේශයේ හුනු උතුරුදිග ප්‍රදේශ වල හුනු වලින් කරන ඉදිකිරීම් හෝ වෙනත් නිර්මාණ වල එතරම් වෙනසක් දැකිය නොහැකි උනත් සිමෙන්ති නිශ්පාදනයේදීනම් ඩොලමයිට් යොදාගැනෙන්නේ නෑ. ඩොලමයිට් වල ඇති තවත් විශේෂත්වය්ක් වෙන්නේ මේ ඛණිජය විශේෂයෙන් පොල් වගාවට අවශ්‍ය මැග්නීසියම් ලවන අවශ්‍යතාවය සඳහා පොහොරක් ලෙස භාවිතා වීමයි.

Sunday, July 29, 2018

ධනුෂ්ක ගුණතිලක, ජනමාධ්‍ය හා ස්ත්‍රී දූෂණ වල සැබෑව.


සමහර විට අපේ රටේ මිනිස්සුත් මේ ස්ත්‍රී දූෂණ ලිංගික අතවර වගේ සිද්ධි වටා බැඳිච්ච තොරතුරු ගැන වැඩි උනන්දුවක් දක්වනව වෙන්න පුළුවන්. ඒ නිසාම ජනමාධ්‍යත් ඒ වගේ සිදුවීම් වලට අදාල තොරතුරු උලුප්පල පෙන්නන්න වැඩි උත්සහයක් ගන්නව. බොහොමයක් මාධ්‍ය හිතන්නේ මේ වගේ තොරතුරු කාටත් කලින් රටටම වාර්තා කරන්න හැකි වීම තම මාධ්‍ය ආයතන විසින් ලබාගන්නා විශාල ජයග්‍රහනයක් කියලයි. ඒ නිසාම මේ සිද්ධි වාර්තා කරණයේදීත් එක් එක් මාධ්‍ය අතර තරඟයකුත් තියෙනවා. ස්ත්‍රී දූෂණ ගැන උනු උනු ප්‍රවුර්තියක්නම් ඔන්න ජනමාධ්‍ය වල කල්ල මරේ. මාධ්‍ය වලට මේක හොඳ ඉල්ලමක්. මේ දවස් වල ප්‍රධාන පෙලේ මාධ්‍ය ධාරා වල වගේම සමාජ ජාලා වෙබ් අඩවි වලත් උනු උනුවේ මාකට් වෙන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකු වන ධනුෂ්ක ගුණතිලකට හා ඔහුගේ මිතුරෙකුට නෝවීජියානු තරුණියන් දෙදෙනෙකුගෙන් ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල වීම. අදාල සිද්ධිය වෙලා තියෙන්නේ කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදීලු. නෝවීජියානු තරුණියන් දෙදෙනා ඒ ගැන පැමිණිලි කරල තියෙන්නේ කටුනායක ගුවන්තොටුපල පොලීසියටලු. කොහොම හරි සිද්ධිය නිසා ක්‍රිකට් ආයතනය ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය ක්‍රියාමාර්ග අරගෙන. අපි අපේ ක්‍රිකට් පිස්සුව නිසා ධනුෂ්ක ගුණතිලක මොක කරත් හරි කියන්න යනව කියල කෙනෙක් හිතනවනම් ඒක වැරදියි. ඒත් අපට මේව ගැන සිහි බුද්ධියෙන් බලන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ.
                       එක් පැත්තකින් කියවෙන්නේ මෑතක ඉතා හොඳින් දක්ෂතා පෙන්වූ ධනුෂ්ක ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කිරීමට ගෙනා කුමන්ත්‍රණයක් කියලා. ඒකට ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කලමනාකරුවන් ගෑවිලා ඉන්නව කියලත් කියවෙනවා. කොහොම උනත් ස්ත්‍රී දූෂණ නිමිත්ත කෙනෙකුට ද්වේශසහගත ලෙස යම් බරපතල චෝදනාවක් එල්ල කිරීමේ අවියක් ලෙස භාවිතා කරන්නට තියෙන ඉඩකඩත් මෙතනින් සනාථ වෙනවා. ක්‍රිකට් විනය රෙගුලාසි වලට අනුව ක්‍රීඩකයින් රාත්‍රී 10 වන විට නවාතැන වෙත පැමිණිය යුතුව තිබෙද්දී ධනුෂ්ක ගුණතිලක ප්‍රමාධ වී විනය කඩ කළා කියන එකත් කියවෙන තව දෙයක්. කොහොම උනත් මේ සිද්ධිය පිටිපස්සේ වෙනත් බොහෝ දේ තිබෙන්න පුළුවන්. ඒ වෙනත් කාරනා වෙනුවෙන් ස්ත්‍රී දූෂණ නිමිත්ත යොදාගන්නවා වෙන්නත් හැකියාව තිබෙනව. මේ ආකාරයේ චෝදනාවක් ධනුෂ්ක වෙත එල්ල වෙන්න වඩා ඉඩකඩ විවර වෙලා තිබුනේ මෙකී නෝවීජියානු තරුණියන් අපේ ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටි හෝටලයේම නවාතැන් ගෙන තිබීමෙන්. සිද්ධියට පැටලී සිටින ධනුෂ්ක ගුණතිලකගේ මිතුරෙකු බව කියන තැනැත්තාත් නැවතී සිට ඇත්තේ එම ස්ථානයේමයි.
                       ජනමාධ්‍ය හා සමාජ ජාලා වෙබ් අඩවි පුරා ලැවු ගින්නක් සේ පැතිර ගිය ප්‍රවුර්තියෙන් මුලින්ම කියවුනේ ධනුෂ්ක ගුණතිලක හා ඔහුගේ මිතුරෙකු සුපිරි හෝටලයකදී නෝවීජියානු තරුණියක් දූෂණය කළ බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වෙන බවයි. මේ කතාව කන වැටෙන ඕනෑම කෙනෙක් සිතන්නේ ධනුෂ්ක හා මිතුරා නෝවීජියානු තරුණියට බලහත්කාරයෙන් ලිංගික අතවරයක් කර ඇති බවයි. එහෙත් පසුව ධනුෂ්ක සිද්ධියෙන් ගැලවී ඔහුගේ මිතුරා පමණක් ඊට පැටලී තිබුණා. මුලින් කී එක් තරුණිය පසුව තරුණියන් දෙදෙනෙකු වී අතවර දෙකක් බවට පත් උනා. ඒ පැමිණිලිකාරියන් අදාල පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේත් කටුනායක පොලීසියට. මෙතන අපට සැක ඇති කරවන දේ ඇයි මේ තරුණියන් මේ සිද්ධිය වුන වහාම ඔවුන් සිටි සංචාරක හෝටලය පිහිටි කොල්ලුපිටිය ප්‍රදේශයේ පොලීසියට ඒ බව නොදැන්වූවේ කියන එක. ඔවුන්ට කටුනායකදී තමන්ට උන අතවරය රටින් පිට වීමට කලින් හදිසියේ මතක් උනාද? එසේනම් ඒ ඇයි. ධනුෂ්ක ගුණතිලකට එල්ල කරන චෝදනාවට අදාල සැලැස්ම ප්‍රමාද උනාද? කල් තියා සැලසුම් කරානම් යන්න තිබුනේ සිද්ධිය උන වහාම කොල්ලුපිටිය පොලීසියට.
                       ස්ත්‍රී දූෂණ චෝදනාව ප්‍රහාරාත්මක අවියක් වෙලා තියෙන සමාජයක වාර්තා වන සිද්ධි වල සත්‍ය අසත්‍යභාවය ගැන හරි තක්සේරුවක් නොතිබ්බොත් ඒකත් ඒ තරම් යහපත් වෙන්නේ නෑ. ධනුෂ්ක ගුණතිලක ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් ගැලවුනත් ඔහුගේ මිතුරා යැයි කියන පුද්ගලයාට දිගින් දිගටම චෝදනා එල්ල උනා. මේ වෙනකොට චෝදනාව එල්ලවන පුද්ගලයා සමග නෝවීජියානු තරුණියන් දෙදෙනා විනෝද වන ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවි වල හුවමාරු වෙනවා. එම ඡායාරූප වලට අනුව අර පුද්ගලයා එම තරුණියන්ට බලහත්කාරයෙන් ලිංගික අතවරයක් කරාය කියන්නටනම් අමරුයි. කාන්තාවක හා පුරුෂයෙකු එක්ව විනෝද වූ පමණින් එය ලිංගික ඇසුරක් දක්වා දුර දිග යනවාමයි කියන්නට වගේම පුරුෂයා කාන්තාවට අතවරයක් කරයි කියන්නත් බෑ.  එවැනි දේ එකිනෙකා අතර අවබෝධයකින් යුතුව දෙදෙනාගේම අවශ්‍යතාවයට සිදුවන ලිංගික ඇසුරක් දක්වා වර්ධනය වීමට යම් ඉඩකඩක් තිබෙනවා. මෙතැන නෝවීජියානු තරුණියන් දෙදෙනා ධනුෂ්කගේ මිතුරා සමග විනෝද වන ආකාරය අනුව වඩා වැඩි ඉඩක් තිබෙන්නේ එවැන්නකට මිස බලහත්කාරකමකට නෙවෙයි. දැන් CCTV දර්ශන ගැන කතාවකුත් යනවා. ඒකිසිවක් නිස්චිත නෑ. අපේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හෝටල් වල විතරක් නෙවෙයි රාත්‍රී සමාජ ශාලා වලට යන අවස්ථා වල ඒ තැන් වලදීත් තරුණියන් සමග දැන හැඳුනුම් කම් ඇති කරගන්නා අවස්ථා නැතිව නෙවෙයි. අපේ විතරක් නෙවෙයි ලෝකේ බොහොමයක් ක්‍රීඩා කණ්ඩායම් වල තත්වය ඒකයි. මේ දැන හැඳිනුම්කම් ලිංගික ඇසුරක් දක්වා දුර දිග ගිය විට එය දෙදෙනෙකු අතර අවබෝධයෙන් උනොත් හොඳයි. ඒත් පස්සේ ගෑනු කෙනාට ඇතිවන දෙගිඩියාවක් චකිතයක් නිසා තමන් සමග ඇසුරක් පවත්වපු තාවකාලික සහකරුවාට ලිංගික අතවර චෝදනාවක් එල්ලකරන්නට සිතුනොත් තත්වය භයානකයි. ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධියේදීත් එහෙම උනාද කියන සැකය ඇතිවීම වලක්වන්න බෑ.
                      විවිධ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමෙන් ඉවත් කිරීමටත් ඔහුගේ ක්‍රිකට් දිවියට යම් බලපෑමක් ඇති කිරීමටත් යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇත්නම් ඒ කුමන්ත්‍රණකාරී බලවේගය ස්ත්‍රී දූෂණ ප්‍රහාරක අවිය භාවිතා කර ඇත්තේ ලිංගික අතවර වල පෙර කියූ විලාසයන්ද උපයෝගී කරගෙනයි. ධනුෂ්ක ගුණතිලකවත් ඔහුගේ මිතුරාවත් වෙනත් කිසිම පුද්ගලයෙක්වත් සත්‍යලෙස යම් කාන්තාවකට ලිංගික අතවරයක් කරන්නේනම් එය හරි කියා කියන්නට බෑ. ඒ වගේම ව්‍යාජ ලෙස කෙනෙකුට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල කිරීම හා නැති තත්වයක් මවා පෑම හෝ සත්‍ය ලෙස සිදු වූ දෙය යට ගසා අතිශයෝක්තියක් මවා පෑමද පිළිගත නොහැකියි. අපට ක්‍රිකට් රසිකයන් විදිහට ධනුෂ්ක ගුණතිලක සුද්ද කරන්නට අවශ්‍යතාවයක් නෑ. ඒ අයුරින්ම ක්‍රිකට් කණ්ඩායමේ සිටින අදක්ෂ හෝ කිසිදු ජනප්‍රියත්වයක් නැති ක්‍රීඩකයෙකුට මෙවැනි චෝදනාවක් එල්ල වන්නේනම් එහිදී කිසිත් නොකියා මුනිවත රැකීමක් වෙන්නත් බෑ. අපට යම්කිසි දෙයක් ගැන සිහි බුද්ධියෙන් විමසා බැලීමක් කරන්න පුළුවන් වෙන එකයි අවශ්‍ය. ධනුෂ්ක ගුණතිලක විතරක් නෙවෙයි ක්‍රිකට් කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයිනුත් සංචාරක හෝටල් රාත්‍රී සමාජශාලා ආදී තැන් වල එසැනින් දැන හැඳිනුම්කම් ඇතිකරගන්නා කාන්තාවන් සමග ගනුදෙනු කිරීමේදී මීට වඩා සිහි කල්පනාවෙන් වගේම පරිස්සමින් සියල්ල කළයුතුයි. ඒ වගේම යමක් ගැන සිතා සිටින දේවල් ඒ අයුරින් සත්‍ය නොවන වටපිටාවක මාධ්‍ය වලින් ගෙනහැරපාන ලිංගික අතවර ස්ත්‍රී දූෂණ සම්බන්ධ ප්‍රවුර්ති ඒ අයුරින්ම විශ්වාස නොකර එවැනි අවස්ථාවක සිදුවීමට ඉඩ ඇති අනෙකුත් සිද්ධි ගැනත් විමසුම් ඇස විවර කර බැලීම අපේද වගකීමක්. 

Friday, July 20, 2018

විශ්වයේ අරුමය

විශ්වය පුදුමාකාරය.එය විටෙක විකාරරූපීය. අප අද 100% ක් සත්‍ය කියා සිතන දෙයක් හෙට වැරදි විය හැක.විශ්වය හා සමාන අරුමයක් තවත් නැත.

අපට ඊයේ සිදුවූ දේ මතක ය ඇ‍යි හෙට සිදුවන දේ මතක නැත්තේ?
මේ මොන විකාර ප්‍රශ්නයක්ද කියා ඔබට සිතෙන්නට පුලුවන. එහෙත් කාලය පිටුපසට ගලන කලාපද තිබිය හැක.


Image result for time flow past universe


එසේම එකම විශ්වයක් නොව විශ්වයන් ගනනාවක් තිබිය හැක. ඒ අනුව අප ජීවත් වන්නේ මෙහි පමනක් නොවිය හැක

3


හොල්මන් කතා අංජනම් ආදියේ රහස ඇත්තේ මෙහි විය නොහැකිද


Friday, July 13, 2018

උනවටුන








උනවටුන මුහුදුතීරය ලංකාවේ දෙස් විදෙස් සංචාරකයන් අතර බොහෝ ජනප්‍රිය තැනක්. උනවටුනට ගාලු පුරවරයෙන් මාතර දෙසට දිවෙන මාර්ගයේ කෙටි දුරක් යන විට ලඟාවෙන්න පුළුවන්. මෙම ප්‍රදේශය ස්වභාව සෞන්දර්ය අතින් ඉතා ඉහලයි. විශේෂයෙන් විදේශීය සංචාරකයන් වැඩි පිරිසක් මෙම ප්‍රදේශයට ආකර්ශනය වෙනවා. උනවටුන ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යට අමතරව තවත් විශේෂත්වයක් තිබෙනවා. අපේ රටේ ජීවත්ව සිටි ප්‍රකඨ විද්‍යාඥ්ඥයෙකු වන ආතර් සී ක්ලාක් මහතා පවසන ආකාරයට ලොව වෙනත් ස්ථාන වලට සාපේක්ෂව පොළවේ ගුරුත්වාකර්ෂණය අවම මට්ටමක් ඇත්තේ උනවටුන ප්‍රදේශයේ.

Monday, July 9, 2018

සොබා සිරි

නකල්ස් වනාන්තරය

සොබා සෞන්දර්යයෙන් අනූන නකල්ස් වනාන්තරය දේශීය හා විදේශීය සංචාරකයන් අතර මහත් ජනප්‍රිය වූවකි. මෙය ඉතා අගනා පරිසර පද්ධතියකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රියතම සංචාරක ප්‍රදේශයක් වන නකල්ස් කඳු වැටිය ආශ්‍රිත ස්වභාවික වන ගහනය මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක ආශ්‍රිතව විහිදී පවතියි.





සිංහරාජ වනය

ජෛව විවිධත්වය අතින් ලෝක උරුමයක් වූ සිංහරාජය දැනට ලංකාවේ විශාලතම ප්‍රදේශයක් පුරා පැතිරී ඇති ස්වභාවික වැසි වනාන්තරයයි. දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ඉහල ප්‍රසිද්ධියක් උසුලයි. සිංහරාජය රත්නපුර කළුතර හා ගාල්ල යන දිස්ත්‍රික වල මායිම් මැදි කරගෙන පිහිටා තිබේ.




Thursday, July 5, 2018

ශ්‍රී ලංකාවේ උසම කඳු මුදුන් 10


  කඳුමුදුන                                                උස                                                     පිහිටි දිස්ත්‍රික්කය

 පිදුරුතලාගල                            මීටර්  2524    අඩි  8281                                         නුවරඑළිය             

 කිරිගල්පොත්ත                         මීටර්  2395    අඩි  7858                                         නුවරඑළිය

 තොටුපොල කන්ද                     මීටර්  2357    අඩි  7733                                         නුවරඑළිය 

 කුඩහගල /අග්‍රබෝපත් කන්ද      මීටර්   2320    අඩි  7612                                         නුවරඑළිය

 සමනල කන්ද                           මීටර්   2243    අඩි  7359                                         රත්නපුර

 කිකිලියාමාන                            මීටර්  2240     අඩි  7349                                        නුවරඑළිය

 ග්‍රේට් වෙස්ටන්                          මීටර්  2216     අඩි  7270                                        නුවරඑළිය

 හග්ගල කන්ද                            මීටර්  2170     අඩි  7119                                        නුවරඑළිය

  කොනිකල් හිල්                        මීටර්   2166    අඩි  7106                                        නුවරඑළිය

  මහකුඩුගල                               මීටර්  2100     අඩි  6890                                        නුවරඑළිය

Tuesday, July 3, 2018

කාල සර්ප යෝගය.


ජ්‍යෝතිෂය යනු ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති මහගු ශාස්ත්‍රයකි. එය මුලින්ම ලොවට හදුන්වා දුන්නේ ඍෂිවරුන් විසිනි. ඍෂිවරු හෙළිකළ මේ දැනුම් පද්ධතිය කාලානුරූපව විකෘති වී ගොස් ඇත.එසේම ලාභ  සත්කාර අපේක්ෂාවෙන් එහි අර්ථ විකෘති කිරීම නිසාත් ගුරු මුෂ්ටි තබා මියගිය ගුරුවරුන් නිසාත් මීට සිදුවී ඇති හානිය අපමණකි.එබැවින් නැවුම් පර්යේශනයක අවශ්‍යතාවය තදින් දැනේ.

මෙයට හොඳම උදාහරණයකි කාල සර්ප යෝගය. කේන්ද්‍රයේ එක් පසෙක ග්‍රහයන් නොසිටීම නොහොත් රාහු හා කේතු මැදට සියළු ග්‍රහයන් රොක් වීම කාල සර්ප යෝගය ලෙස හැදින්වේ. මේ වචනය ඇසුන සැනින් ඇතැම්හු බියවන නමුත් ඇත්තටම එසේ බිය විය යුතු නැත. මෙම යොගේ ඇති අය ලොව මහ පෙරලි සිදුකර ඇත. ඔවුහු විශේෂ ක්ශේත්‍රවල දක්ෂයෝ වෙති. ලෝක ප්‍රසිද්ධ වෙති. නමුත් ජීවිතයේ එක් පසෙක අදුරක් ඇත. එය ආලෝකවත් කර ගැනීම අනෙක් පස තිබෙන මහා ආලෝකයෙන් කරගැනීමට බුද්ධිමත් විය යුතුය. 

නිරවද්‍ය ඵලාඵල කීම පහසු නැත. ඒ සඳහා එක් එක් ග්‍රහයාගේ සිට ඇති අංශක ගනන්ද යොදාගත යුතුය. මෙරට බොහෝ ජ්‍යොතිර්වේදීහු මෙවැනි සංකීර්න ගණිත ගැටළු වලට කම්මැලි වෙති. එහි ප්‍රතිඵලය මෙම ශාස්ත්‍රය සරදමට ලක් වීමයි.

Friday, June 29, 2018

කැළණි වෙහෙර පොසොන් උදාව



 කැළණි වෙහෙර පිවිසුම හා ප්‍රධාන බුදු මැදුර බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යමින්



 ප්‍රසිද්ධ ධන්‍යාකාර චෛත්‍ය


 අවලෝකිණේශ්වර බෝසත් ප්‍රතිමාව


 සිදුහත් තවුසානන්ගේ දුෂ්කරක්‍රියා සමය විදහා දැක්වෙන ප්‍රතිමාව


සිරි පතුල



කැළණි වෙහෙර පොසොන් උදාව සහ සංරක්ෂිත පැරණි කළා නිර්මාණ


කැළණි ගඟේ බෝට්ටු සවාරි

 

Wednesday, June 27, 2018

බ්ලොග් හැඳින්වීම

අද සිට ඇරඹෙන මෙම බ්ලොග් අඩවිය ශ්‍රී ලාංකික අන්තර්ජාල පාඨක පිරිස වෙනුවෙන් සිවු දෙස විහිදෙන තොරතුරු ඇතුළු වෙනත් විවිධාංග රාශියකින් සමන්විත වනු ඇත. බ්ලොග් අඩවිය ගැන පාඨක ඔබ සියළු දෙනාගේ අදහස්ද අතිශය වැදගත් කොට සැලකේ. ඔබ සියළු දෙනාට සුභ දවසක්.