Friday, March 22, 2019

පරිසරය සහ මනස


මනස සහ පරිසරය අතර සම්බන්ධය මොකක්ද? අද වෙනදාටත් වඩා මානසික ආතතිය, පීඩනය ගැන කතා කෙරෙනවා. ඇත්තෙන්ම මානසික ආතතියට කෙනෙකු ජීවත් වෙන පරිසරයේ ස්වභාවය බොහෝසෙයින් බලපානවා. අපි හුඟ දෙනෙක් මේ ගැන වැඩි අවධානයක් යොමු නොකළත් ඇත්තෙන්ම එදිනෙදා ජීවිතයේදී පවා පරිසරයත් මනසත් අතර තිබෙන සම්බන්ධතාවයේ විවිධ ප්‍රතිඵල අප කවුරුත් අත් විඳ ඇති. අප ජීවත් වන පරිසරයේ ස්වභාවික ගතිය අඩු වී කෘතීම ගතිය ගොඩක් වැඩි උනොත් ඒ තුලින් අපේ මනසට යම් පීඩනයක් එල්ල වනවා වගේම එය කෙනෙකුගේ මානසික සමබරතාවයටත් බලපෑමක් කරනවා. ඒ වගේම අනෙක් අතට කෙනෙකු යම් චිත්ත පීඩාවකට පත්ව සිටින මොහොතක ඒ තැනැත්තා කොළ පැහැයෙන් යුතු ගහකොළ බහුල ස්වභාවික පරිසරය දැකීමෙන් පුද්ගලයාගේ ඒ පීඩනය පහව ගොස් මනසට යම් සැහැල්ලුවක් ඇති කරනවා. මනසත් පරිසරයත් අතර තිබෙන මේ සම්බන්ධතාවය තේරුම් ගැනීමට අමුතු වෙහෙසක් දැරිය යුතු නෑ. ඕනෑම කෙනෙක් ස්වභාවික පරිසරයත් එහි අලංකාරයත්  අත්විඳීමට යම් කැමැත්තක් දක්වන්නේ නිරායාසයෙන්. සත්වලෝකයේ වෙනත් සතුන්ට ජීවත් වීමට පරිසරයේ ස්වභාවික වාසස්ථාන තිබුණත් මිනිසුන් තම දිවි පැවැත්ම වෙනුවෙන් සුවිශේෂී පරිසරයන් නිර්මාණය කරනවා. මෙලෙස විශේෂයෙන් ගොඩනගන නිර්මාණාත්මක පරිසරයකට තමයි සංස්කෘතික පරිසරයක් කියන්නේ. මනුස්සයන් කොපමණ බුද්ධිමත් වුවත් ඔවුන් විසින් නිර්මාණය කරන සුවිශේෂී පරිසරය සොබාදහමෙනුත් ස්වභාවික පරිසරයෙනුත් බොහෝසෙයින් දුරස් වුනු දැඩි කෘතීමබවකින් සමන්විත එකක් වීම මනුස්සයන්ටම අහිතකරයි. ඇත්තෙන්ම මිනිස් සංහතියේ යහ පැවැත්ම සැලකීමේදී මනුස්සයන් විසින් නිර්මාණාත්මකව ගොඩනගන දෑ සොබාදහමට අනුකූල ලෙස ඊට බොහෝ සංගතව සිදු කිරීම ඉතා වැදගත්.