Sunday, July 29, 2018

ධනුෂ්ක ගුණතිලක, ජනමාධ්‍ය හා ස්ත්‍රී දූෂණ වල සැබෑව.


සමහර විට අපේ රටේ මිනිස්සුත් මේ ස්ත්‍රී දූෂණ ලිංගික අතවර වගේ සිද්ධි වටා බැඳිච්ච තොරතුරු ගැන වැඩි උනන්දුවක් දක්වනව වෙන්න පුළුවන්. ඒ නිසාම ජනමාධ්‍යත් ඒ වගේ සිදුවීම් වලට අදාල තොරතුරු උලුප්පල පෙන්නන්න වැඩි උත්සහයක් ගන්නව. බොහොමයක් මාධ්‍ය හිතන්නේ මේ වගේ තොරතුරු කාටත් කලින් රටටම වාර්තා කරන්න හැකි වීම තම මාධ්‍ය ආයතන විසින් ලබාගන්නා විශාල ජයග්‍රහනයක් කියලයි. ඒ නිසාම මේ සිද්ධි වාර්තා කරණයේදීත් එක් එක් මාධ්‍ය අතර තරඟයකුත් තියෙනවා. ස්ත්‍රී දූෂණ ගැන උනු උනු ප්‍රවුර්තියක්නම් ඔන්න ජනමාධ්‍ය වල කල්ල මරේ. මාධ්‍ය වලට මේක හොඳ ඉල්ලමක්. මේ දවස් වල ප්‍රධාන පෙලේ මාධ්‍ය ධාරා වල වගේම සමාජ ජාලා වෙබ් අඩවි වලත් උනු උනුවේ මාකට් වෙන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකු වන ධනුෂ්ක ගුණතිලකට හා ඔහුගේ මිතුරෙකුට නෝවීජියානු තරුණියන් දෙදෙනෙකුගෙන් ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල වීම. අදාල සිද්ධිය වෙලා තියෙන්නේ කොල්ලුපිටිය ප්‍රදේශයේ හෝටලයකදීලු. නෝවීජියානු තරුණියන් දෙදෙනා ඒ ගැන පැමිණිලි කරල තියෙන්නේ කටුනායක ගුවන්තොටුපල පොලීසියටලු. කොහොම හරි සිද්ධිය නිසා ක්‍රිකට් ආයතනය ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය ක්‍රියාමාර්ග අරගෙන. අපි අපේ ක්‍රිකට් පිස්සුව නිසා ධනුෂ්ක ගුණතිලක මොක කරත් හරි කියන්න යනව කියල කෙනෙක් හිතනවනම් ඒක වැරදියි. ඒත් අපට මේව ගැන සිහි බුද්ධියෙන් බලන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ.
                       එක් පැත්තකින් කියවෙන්නේ මෑතක ඉතා හොඳින් දක්ෂතා පෙන්වූ ධනුෂ්ක ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කිරීමට ගෙනා කුමන්ත්‍රණයක් කියලා. ඒකට ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කලමනාකරුවන් ගෑවිලා ඉන්නව කියලත් කියවෙනවා. කොහොම උනත් ස්ත්‍රී දූෂණ නිමිත්ත කෙනෙකුට ද්වේශසහගත ලෙස යම් බරපතල චෝදනාවක් එල්ල කිරීමේ අවියක් ලෙස භාවිතා කරන්නට තියෙන ඉඩකඩත් මෙතනින් සනාථ වෙනවා. ක්‍රිකට් විනය රෙගුලාසි වලට අනුව ක්‍රීඩකයින් රාත්‍රී 10 වන විට නවාතැන වෙත පැමිණිය යුතුව තිබෙද්දී ධනුෂ්ක ගුණතිලක ප්‍රමාධ වී විනය කඩ කළා කියන එකත් කියවෙන තව දෙයක්. කොහොම උනත් මේ සිද්ධිය පිටිපස්සේ වෙනත් බොහෝ දේ තිබෙන්න පුළුවන්. ඒ වෙනත් කාරනා වෙනුවෙන් ස්ත්‍රී දූෂණ නිමිත්ත යොදාගන්නවා වෙන්නත් හැකියාව තිබෙනව. මේ ආකාරයේ චෝදනාවක් ධනුෂ්ක වෙත එල්ල වෙන්න වඩා ඉඩකඩ විවර වෙලා තිබුනේ මෙකී නෝවීජියානු තරුණියන් අපේ ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටි හෝටලයේම නවාතැන් ගෙන තිබීමෙන්. සිද්ධියට පැටලී සිටින ධනුෂ්ක ගුණතිලකගේ මිතුරෙකු බව කියන තැනැත්තාත් නැවතී සිට ඇත්තේ එම ස්ථානයේමයි.
                       ජනමාධ්‍ය හා සමාජ ජාලා වෙබ් අඩවි පුරා ලැවු ගින්නක් සේ පැතිර ගිය ප්‍රවුර්තියෙන් මුලින්ම කියවුනේ ධනුෂ්ක ගුණතිලක හා ඔහුගේ මිතුරෙකු සුපිරි හෝටලයකදී නෝවීජියානු තරුණියක් දූෂණය කළ බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වෙන බවයි. මේ කතාව කන වැටෙන ඕනෑම කෙනෙක් සිතන්නේ ධනුෂ්ක හා මිතුරා නෝවීජියානු තරුණියට බලහත්කාරයෙන් ලිංගික අතවරයක් කර ඇති බවයි. එහෙත් පසුව ධනුෂ්ක සිද්ධියෙන් ගැලවී ඔහුගේ මිතුරා පමණක් ඊට පැටලී තිබුණා. මුලින් කී එක් තරුණිය පසුව තරුණියන් දෙදෙනෙකු වී අතවර දෙකක් බවට පත් උනා. ඒ පැමිණිලිකාරියන් අදාල පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේත් කටුනායක පොලීසියට. මෙතන අපට සැක ඇති කරවන දේ ඇයි මේ තරුණියන් මේ සිද්ධිය වුන වහාම ඔවුන් සිටි සංචාරක හෝටලය පිහිටි කොල්ලුපිටිය ප්‍රදේශයේ පොලීසියට ඒ බව නොදැන්වූවේ කියන එක. ඔවුන්ට කටුනායකදී තමන්ට උන අතවරය රටින් පිට වීමට කලින් හදිසියේ මතක් උනාද? එසේනම් ඒ ඇයි. ධනුෂ්ක ගුණතිලකට එල්ල කරන චෝදනාවට අදාල සැලැස්ම ප්‍රමාද උනාද? කල් තියා සැලසුම් කරානම් යන්න තිබුනේ සිද්ධිය උන වහාම කොල්ලුපිටිය පොලීසියට.
                       ස්ත්‍රී දූෂණ චෝදනාව ප්‍රහාරාත්මක අවියක් වෙලා තියෙන සමාජයක වාර්තා වන සිද්ධි වල සත්‍ය අසත්‍යභාවය ගැන හරි තක්සේරුවක් නොතිබ්බොත් ඒකත් ඒ තරම් යහපත් වෙන්නේ නෑ. ධනුෂ්ක ගුණතිලක ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් ගැලවුනත් ඔහුගේ මිතුරා යැයි කියන පුද්ගලයාට දිගින් දිගටම චෝදනා එල්ල උනා. මේ වෙනකොට චෝදනාව එල්ලවන පුද්ගලයා සමග නෝවීජියානු තරුණියන් දෙදෙනා විනෝද වන ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවි වල හුවමාරු වෙනවා. එම ඡායාරූප වලට අනුව අර පුද්ගලයා එම තරුණියන්ට බලහත්කාරයෙන් ලිංගික අතවරයක් කරාය කියන්නටනම් අමරුයි. කාන්තාවක හා පුරුෂයෙකු එක්ව විනෝද වූ පමණින් එය ලිංගික ඇසුරක් දක්වා දුර දිග යනවාමයි කියන්නට වගේම පුරුෂයා කාන්තාවට අතවරයක් කරයි කියන්නත් බෑ.  එවැනි දේ එකිනෙකා අතර අවබෝධයකින් යුතුව දෙදෙනාගේම අවශ්‍යතාවයට සිදුවන ලිංගික ඇසුරක් දක්වා වර්ධනය වීමට යම් ඉඩකඩක් තිබෙනවා. මෙතැන නෝවීජියානු තරුණියන් දෙදෙනා ධනුෂ්කගේ මිතුරා සමග විනෝද වන ආකාරය අනුව වඩා වැඩි ඉඩක් තිබෙන්නේ එවැන්නකට මිස බලහත්කාරකමකට නෙවෙයි. දැන් CCTV දර්ශන ගැන කතාවකුත් යනවා. ඒකිසිවක් නිස්චිත නෑ. අපේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හෝටල් වල විතරක් නෙවෙයි රාත්‍රී සමාජ ශාලා වලට යන අවස්ථා වල ඒ තැන් වලදීත් තරුණියන් සමග දැන හැඳුනුම් කම් ඇති කරගන්නා අවස්ථා නැතිව නෙවෙයි. අපේ විතරක් නෙවෙයි ලෝකේ බොහොමයක් ක්‍රීඩා කණ්ඩායම් වල තත්වය ඒකයි. මේ දැන හැඳිනුම්කම් ලිංගික ඇසුරක් දක්වා දුර දිග ගිය විට එය දෙදෙනෙකු අතර අවබෝධයෙන් උනොත් හොඳයි. ඒත් පස්සේ ගෑනු කෙනාට ඇතිවන දෙගිඩියාවක් චකිතයක් නිසා තමන් සමග ඇසුරක් පවත්වපු තාවකාලික සහකරුවාට ලිංගික අතවර චෝදනාවක් එල්ලකරන්නට සිතුනොත් තත්වය භයානකයි. ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධියේදීත් එහෙම උනාද කියන සැකය ඇතිවීම වලක්වන්න බෑ.
                      විවිධ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමෙන් ඉවත් කිරීමටත් ඔහුගේ ක්‍රිකට් දිවියට යම් බලපෑමක් ඇති කිරීමටත් යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇත්නම් ඒ කුමන්ත්‍රණකාරී බලවේගය ස්ත්‍රී දූෂණ ප්‍රහාරක අවිය භාවිතා කර ඇත්තේ ලිංගික අතවර වල පෙර කියූ විලාසයන්ද උපයෝගී කරගෙනයි. ධනුෂ්ක ගුණතිලකවත් ඔහුගේ මිතුරාවත් වෙනත් කිසිම පුද්ගලයෙක්වත් සත්‍යලෙස යම් කාන්තාවකට ලිංගික අතවරයක් කරන්නේනම් එය හරි කියා කියන්නට බෑ. ඒ වගේම ව්‍යාජ ලෙස කෙනෙකුට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල කිරීම හා නැති තත්වයක් මවා පෑම හෝ සත්‍ය ලෙස සිදු වූ දෙය යට ගසා අතිශයෝක්තියක් මවා පෑමද පිළිගත නොහැකියි. අපට ක්‍රිකට් රසිකයන් විදිහට ධනුෂ්ක ගුණතිලක සුද්ද කරන්නට අවශ්‍යතාවයක් නෑ. ඒ අයුරින්ම ක්‍රිකට් කණ්ඩායමේ සිටින අදක්ෂ හෝ කිසිදු ජනප්‍රියත්වයක් නැති ක්‍රීඩකයෙකුට මෙවැනි චෝදනාවක් එල්ල වන්නේනම් එහිදී කිසිත් නොකියා මුනිවත රැකීමක් වෙන්නත් බෑ. අපට යම්කිසි දෙයක් ගැන සිහි බුද්ධියෙන් විමසා බැලීමක් කරන්න පුළුවන් වෙන එකයි අවශ්‍ය. ධනුෂ්ක ගුණතිලක විතරක් නෙවෙයි ක්‍රිකට් කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයිනුත් සංචාරක හෝටල් රාත්‍රී සමාජශාලා ආදී තැන් වල එසැනින් දැන හැඳිනුම්කම් ඇතිකරගන්නා කාන්තාවන් සමග ගනුදෙනු කිරීමේදී මීට වඩා සිහි කල්පනාවෙන් වගේම පරිස්සමින් සියල්ල කළයුතුයි. ඒ වගේම යමක් ගැන සිතා සිටින දේවල් ඒ අයුරින් සත්‍ය නොවන වටපිටාවක මාධ්‍ය වලින් ගෙනහැරපාන ලිංගික අතවර ස්ත්‍රී දූෂණ සම්බන්ධ ප්‍රවුර්ති ඒ අයුරින්ම විශ්වාස නොකර එවැනි අවස්ථාවක සිදුවීමට ඉඩ ඇති අනෙකුත් සිද්ධි ගැනත් විමසුම් ඇස විවර කර බැලීම අපේද වගකීමක්. 

No comments:

Post a Comment