Tuesday, August 28, 2018

තොටුපොල කන්ද සහ රාවණ යුගය

තොටුපොල කන්ද පිහිටල තියෙන්නේ හෝටන් තැන්න ප්‍රදේශයේ තරමක් පට්ටිපොල දෙසට වන්නටයි. මේ කන්ද ශ්‍රී ලංකාවේ තුන්වැනි උසම කන්ද. මුහුදු මට්ටමේ සිට උස අඩි 7739ක්. කන්දට තොටුපොල කියන නම ලැබුනේ කොහොමද? මේ කතාව රාවණ ඉතිහාසයත් එක්ක සම්බන්ධයි. පැරණි ජනප්‍රවාදයේ සඳහන් වෙන විදිහටනම් රාවණ රජතුමාගේ දඬුමොණරය ගොඩබෑ තොටුපොල මේ ආසන්නයේ ඇති නිසා කන්දට තොටුපොල කන්ද කියන නම ලැබිල තියෙනවා.
                   මේ ජනප්‍රවාද කිසිවක් අපට බැහැර කරන්නට නොහැකියි. දඬුමොණරය ගැන තොරතුරු රාවණ රජු වටා ඇති බොහොමයක් ජනප්‍රවාද වල සඳහන් වෙනවා. දඬුමොණරය ගුවනින් පියාසර කිරීමට රාවණ රජු විසින් භාවිත කළ යානාවයි. දඬුමොණරය සුලඟ හා වායු පීඩන වෙනස්කම් ආදාරයෙන් පියාසර කළ හැකි යානාවක් බව කියවෙනවා. වර්තමාණයේ ඇති නවීන ගුවන් යානා වලත් පියාසර කිරීමේ හා ඉහලට එසවීමේ තාක්ෂණය පදනම් වෙන්නේ වායුපීඩන වෙනසක් නිර්මාණය කිරීම මතයි. දඬුමොණරයේ තාක්ෂණය ගැනත් විවිධ කතන්දර තිබෙනවා. දඬුමොණරය සුළඟේ ආදාරයෙන් පියාසර කිරීම හා ඒ ආශ්‍රිත තොරතුරු අනුව බලනකොට නම් තොටුපොල කන්ද හා ඒ වටා බැඳුනු පුරාවුර්තයන් නිවැරදියි කියා සිතන්නට තිබෙන සාක්ෂි පැහැදිලියි.
                  
ඒ තොටුපොල කන්දත් හෝටන්තැන්නත් ආශ්‍රිත පරිසරය හා භූ විශමතාවය සලකන විටදීයි. හෝටන් තැන්න ප්‍රදේශය පතන බිම්කඩවල් සහිත තරමක් තැනිතලා ප්‍රදේශයක්. ඒ වගේම හෝටන්තැන්නේ දකුණු පැත්තේ ඇති ලෝකාන්තය ලෙස ප්‍රසිද්ධ ස්ථානය ඇතුළු ඉතා සීඝ්‍ර බෑවුම් සහිත ස්ථාන වලින් සුලඟේ ආධාරයෙන් පියාසර කළ හැකි යානාවක් ගුවන්ගත කිරීමට හැකියාවක් තිබෙනවා. තොටුපොල කන්ද අවට හෝටන්තැන්න ප්‍රදේශයේ තැනිතලා භූමි ප්‍රදේශයක් වෙත එවැනි යානයක් ගොඩබෑමද පහසු කටයුත්තක්. මේ අනුව බලද්දී රාවණ රජු දඬුමොණරය ගුවන්ගත කිරීමටත් ආපසු ගොඩබෑමටත් මේ ප්‍රදේශය භාවිතා කළා කියා කියන්නට ඉතාම කිට්ටු සාධක බොහොමයක් එම පරිසරයේම තිබෙනවා. එසේනම් අප මේ පැරණි ජනප්‍රවාද නොසලකා හැරිය යුතුද? ඇත්තෙන්ම කළයුතු දේ නම් මේ ජනප්‍රවාද ඔස්සේ තව තවත් මේ ඉතිහාසය වෙත එබී බැලීමයි. එසේ කරන්නේනම් අපට අපේ පැරණි ඉතිහාස තොරතුරු පමණක් නොව රාවණ යුගයේ තාක්ෂණික තොරතුරුත් අනාවරණය කරගැනීමට නිසැක ඉඩකඩක් ලැබෙනු ඇති.

No comments:

Post a Comment